Wednesday, July 6, 2016

ආත්මාරක්ෂක සටන් කලාවක්/ක්‍රමයක් ඉගැන ගැනුමෙහි පරමාර්ථය

ආත්මාරක්ෂක සටන් කලාව යන්න ම විසන්ධි කර බැලූ කල ආත්මාරක්ෂාව  = ආත්ම + ආරක්ෂාව යනුවෙන් ගත හැකිය. තම ආරක්ෂාව පතා තම ශරීරය ආයුධයක් සේ යොදා ගැනීමට පුහුණු කිරීම මෙහි අර්ථයයි.  ඇත්තෙන් ම සටන් කලාවක් ලෙස ගත් කල්හි අයෙකුට මෙය නම් වශයෙන් සඳහන් කරමින් එකිනෙකට එකක් වෙනස් ලෙසත් එකක් අනෙකක් අභිබවමින් යැතැයි පැවසිය හැකි වුවත් එය ඇත්තෙන් ම ඇත්තේ සටන් කලාව පුහුණු වන්නා තුළ , පුහුණු වන්නාගේ යෙදැවුම අනුවයි. මක් නිසාද මිනිසා ලෙස අපට ඇත්තේ අත් දෙකක් සහ කකුල් දෙකක් සහ බුද්ධියක් පමණි.

සටන් කලාවක් ඇත්තෙන්ම එකකින් අනෙකකට වෙනස් වනුයේ තම ප්‍රතිවාදියා සමග ඇති කාල, දුරස්ථ සම්බන්ධතාව කෙසේ හසුරවන්නේද, මිනිස් දේහ විද්‍යාව කොපමණ දුරකට යෙදවුමකට ගන්නේද, ලීවර, ගම්‍යතාවය ආදී සංකල්ප කෙසේ හසුරවන්නේද යන්න මතයි. එය මෙසේ විග්‍රහ කරමු.

  • බොක්සිං ක්‍රීඩාවේදී මුෂ්ටි පහර දුර සහ එයට අඩු දුර භාවිත වන අතර ශරීරයේ චාලක ශක්තිය දාමයක් ලෙස භාවිතයට ගෙන ශරීර යාන්ත්‍ර විද්‍යාවට අනුව උපරිම ශක්තියෙන් අනූන මුෂ්ටි පහරවල් එල්ල කරයි
  • ටයි ක්වොන් ඩෝ වැනි ක්‍රීඩා වල දී ශරීරයේ දිගුම ආයුධය වන පාදය බල ඝූර්ණ හරහා ප්‍රතිවාදියාගේ ශරීරයට බලය සම්ප්‍රේශනය කිරීමේ යෙදවුම ප්‍රගුණ කරයි
  • ජුඩෝ හෝ මල්ලව පොර ආදී පොරබැදීම් හා භූමි සටන් ක්‍රම වලදී ශරීර යාන්ත්‍ර විද්‍යාව සහ ලීවර යෙදවුම් මෙන්ම දේහ විද්‍යාව මගින් සන්ධි හා රුධිර සැපයුමට/ ස්වසන සැපයුමට හානි පමුණුවන්නේ කෙසේද යන්න ප්‍රගුණ කරයි
  • කඩු සටන් ආදියේදී දුර සහ අවකාශීය සම්බන්ධතාව මැනැවින් උපයෝගී කරගනිමින් ප්‍රතිවාදියා යටත් කරගත හැක්කේ කෙසේද යන්න පුහුණු කරනු ලබයි
එබැවින් මෙයින් අප වටහා ගත යුත්තේ සටන් කලා එකකට අනෙකක් අනන්‍යෝන්‍ය වශයෙන් අද්විතීයව වෙනස් වන බවයි. කෙසේ වෙතත් සටන් කලාවේ මුඛ්‍ය අරමුණ වනුයේ තමා සහ තමාගේ ආදරණියයන් රැක ගැනීමත්, සෞඛ්‍යාරක්ෂිතව සිටීමත් වේ. බොහෝ විට සිදුවනුයේ සටන් කලාවක් තුළින් අයෙකු මුහුකුරා යෑමට නම් ඉතාමත් හොඳ ගුරුවරයෙකු සිටීමයි. එහෙත් නිසි ගුරුවරයෙකු නොමැති වූ විට හර සුන් සටන් කරුවන් පමණක් බිහිවීමට මොනවට පැවසිය යුතුද? ඇතැම් විට බොහෝ සටන් ක්‍රම ක්‍රීඩා බවට පත් වී මුදල් හෝ පදක්කම් දිනා ගැනීමට පමණක් පුහුණු වී සටන් කලාව තුළ ඇති ගැඹුරු දහම තම ජීවිතයට ඇතුළත් කර නොගනී. එම සංකල්ප වලින් කිහිපයක් නම්:

කිසි විටෙක වත් තමාගේ හෝ තම ආදරණීයයන්ගේ ජීවිත වලට අවධානමක් නැති නම් පමණක් සටනක් සඳහා යොමු නොවන්න.

සමුරායි වරුන් සබැඳිව ඇති කියමනක් වනුයේ ඔවුන්ගේ කඩුව කොපුවෙන් එළියට ගතහොත් එය ලේ නොගාවා නැවතත් කොපුවට නොදමන බවයි. එහෙත් මෙහි සත්‍යතාවය නම් ඔවුන් තම අසිපත භාවිත කරනුයේ තම ජීවිත තර්ජනයකදී පමණක් බවත් තර්ජනය අවසන් කිරීමට නම් ලේ සෙලවීම සිදු කළ යුතුම බවත් යන්නයි. 
ඔබ මතක තබා ගත යුතු කාරණාව නම් තම මිතුරන් හා අසල්වාසීන් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබනවා ද නැත් ද යන්නයි. යම් ලෙසකින් තම ජීවිතයට හෝ තම පවුලේ අයගේ ජීවිත තර්ජනයක් නම් පමණක් තම දිවි නොතකා ඔවුන් බේරා ගැනීම ඔබගේ යුතුකමයි. තමා යම් සටන් ක්‍රමයක් දන්නා පමණින්, අයෙකු තියුණු ආයුධයක් පෙන්වා මුදල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහොත් තමා සතු සියලු මුදල් ලබා දීම නුවණැති වන්නේය. මුදල්, අබරණ ආදී සියලු භෞතිකමය දෑ ජීවිතයේ පසුකාලීනව උපයා ගත හැකිය.

භෞතිකමය කාරණා හේතුවෙන් කිසි විටෙකත් ගැටුම් ඇති කර නොගන්න

ඇතැම් විට ආත්මාරක්ෂක සටන් කලාවක් හදාරන අය, තම සියලු දෑ ආරක්ෂා කරගැනීමට පෙළැඹීමේ නැඹුරුවක් දක්නට ඇත. එහෙත් භෞතිකමය දෑ වෙනුවෙන් සටන් කිරීම පුස්සක් බව ඔබට වටහා දීමට කැමැත්තෙමි. ඇතැම් විට අයෙකු අතපසුවීමකින් ඔබගේ ශරීරයේ වැදීමට ඉඩ ඇත. එය වේදනාකාරී වීමටද ඉඩ ඇත. එහෙත් එය සටනක් දක්වා දුර දිග යෑමේ අවශ්‍යතාවයක් ඇත්දැයි ඔබ සිතා බැලිය යුතුය. එහෙත් ඔබගේ හෝ ඔබගේ සමීපතමයන්ගේ පෞද්ගලික පෙදෙස් අයෙකු අතගෑවේ නම් ඔබට වහාම එයට මැදිහත් වීමට සිදුවේ. මක්නිසාද එය ද පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් වන නිසාවෙනි.
කෙසේ වෙතත් වෙනත් බාහිර සාධක නිසාවෙන් කායිකව සටනක් වනවාට වඩා සාකච්ඡාවක් තුළින් ඇතැම් දේ විසඳාගත හැකි වනු ඇත. ඇතැම් විට තම පවුලේ අයගේ ආරක්ෂාව පතා එය මගහැර යා හැකි නම්, එයම ඔබගේ පළමු තීරණය වනු ඇත. එයට හේතුව නම් මෙයයි. ඇතැම් විට එය පෙර සැලසුම් කරන ලද අපරාධයක් වීමට පුළුවන. එනම් ඔබගේ වාහනයට හිතාමතාම පැන, වාහනයෙන් යට කර දැමීමට තැත් කළා යැයි තත්ත්වයක් ඇති කර ඔබගේ අවධානය වෙනතකට යොමු කර , අනෙක් අපරාධකරුවන් වාහනයේ සිටිනා ඔබගේ කුඩා දරුවා/යොවුන් දියණිය/ බිරිඳ පැහැරගෙන යාමට, දූෂණය කිරීමට ඉඩ ඇත. මෙවන් අවස්ථාවක දී ඔබගේ තීරණය කුමක්ද? අයෙක් සමග සටන් කරනවාද? ඔවුන් සතුව ආයුධ තිබේද? හෝ සරල ලෙසම එය ඔබගේ වරද නොවේ නම් ළඟම ඇති පොලිසියට ගොස් ඔවුනට තත්ත්වය පැහැදිලි කර දෙනවාද? තීරණය ඔබ සතුයි. ඔබ තනිව වාහනයේ සිටිනවා නම් ඔබට කැමති තීරණයක් ගත හැකිය.  

තමා වෙනුවෙන් පුහුණු වීම් කරන්න. 

මෙහි වැදගත් කම නම් පුහුණුවීම් කළ යුත්තේ පෙර දිනට වඩා අද තමාගේ සටන් කලාවේ අභිවෘද්ධිය සලසා ගෙන තම මනස සහ ශරීරය නිරෝගිමත්ව සහ තියුණුව තබා ගැනීමයි. සටන් කලාව තුළ උසස් වීම් ලැබීම, තරග වලින් ජයග්‍රහනය කිරීම ද්විතිකව පැමිණෙයි. නොදන්නා දෙය ඉගෙන ගැනුමටත්, උගත් දෙය තව තවත් ඔප් නංවා ගැනීමටත් දිනපතා පුහුණුවන්න.

මෙහිදී  අවශ්‍ය වන්නේ තමා හදාරන සටන් ශෛලිය කුමක් වුවත් එය නිවැරදි ගුරුවරයෙක් යටතේ, නිවැරදි ශිල්පීය ක්‍රම යටතේ පුහුණු වීමයි. එසේම තම ගුරුවරයා තමාට වැඩිහිටියෙක් ලෙස කොපමණ ගුරුහරුකම් දේ ද, එලෙසම තම අභිවෘද්ධිය වෙනුවෙන් කොපමණ කැපවේද යන්නත් මනසේ ධාරණය කර ගත යුතුය. මෙම අභිවෘද්ධිය සටන් කලාවේ පමණක් නොව පොදුවේ මිනිසෙකු ලෙස තමා ගොඩනැගෙන්නේ කෙසේද යන කාරණාවටද අදාළ වේ.

ඇත්තෙන්ම සටන් කලාවක් නිවැරදිව හදාරන්නෙකු කෙසේ දෙයකට ප්‍රතිචාර දක්වන්නේද යන්න මෙසේ පැහැදිලි කළ හැකිය. ඔබ ළඟ ආයුධයක් ඇතැයි සිතන්න. අයෙකු ඔබගේ මව් මතක් කර ඔබට අසභ්‍ය වචනයෙන් බැන වැදුනහොත් ඔබ එම ආයුධය භාවිත කරන්නේද? නැහැ නේද? ඇතැම් විට ඔබ වචනයෙන් බැන වැදුනත් ආයුධයකින් අයෙකුට පහරදීමට පෙළඹෙන්නේ නැහැ නේද? සිතා බලන්න. තීරණය ඔබ සතුයි!

පහත දක්වා ඇත්තේ මුහුණුපොතෙහි තිබූ එක්තරා සිද්ධියකි. ඔබම එය තේරුම් ගැනීමට උත්සහ කරන්න.


"Yesterday when I get back home from Colombo to reunite with my wife, I a careless tuk tuk, who overtook me from wrong side, saw a blockage in front of him and cut into my lane suddenly, I did not have a time to react. He hit my side mirror and slammed his back mudguard into my left front wheel.

He was accusing me for my "bad" driving. I was waiting at my seat, breathing calmly, and ready for anything. He came out from his tuk tuk and approach me to my door. I did not roll down the window. I opened the door and came out too. I said "Hey mister! This is my lane. You are the one who cut into my lane when you saw the blockage! We cannot argue here. Let's pull over and let others go". Then we pulled over and I checked my damages. None! So I said. " Hey mister! Please try to drive carefully. There are traffic laws. You need to obey them. I am out of here". And I was waiting until he drive away. And I came home!
Lot of people try to make a mess when something like happens. Specially some idiots who trained in martial ways. Even I had martial training, I never pull that out until my life is in jeopardy, or my loved ones . You can resolve things with your entelect and discussions. Violence is not the solution for simple troubles.

Lot of people try to make a mess when something like happens. Specially some idiots who trained in martial ways. Even I had martial training, I never pull that out until my life is in jeopardy, or my loved ones . You can resolve things with your entelect and discussions. Violence is not the solution for simple troubles."

Thursday, May 2, 2013

සත්‍යය

කෙතරම් පුහුණු වුවත්
කෙතරම් අනෙකෙකු පුහුණු කළත්
තමා වල්මත් වූවෙකි
නැති විට අවංක පිවිතුරු හදක්

වූ විට ගුරුවරයකු
දිය යුතුය හොඳ ගුණදම්
නැති විටද තමා ළඟ කිසියම්
වැද්දන් කියන බණද අගනේ


Friday, April 15, 2011

Jeet Kune Do in Sri Lanka ( ලාංකේය ජිට් කු‍න් ‍ඩෝ )

ජිට් කුන් ඩෝ (Jeet Kune Do) හෙවත් අන්තඛණ්ඩනීය හස්ත/පාද ක්‍රමවේදය යනු නැසීගිය චින්තකයෙකු , දර්ශනවාදියෙකු මෙන්ම අතිදක්ෂ සටන් ශිල්පියෙකු, ගුරුවරයෙකු වූ බෘෘස් ‘ජුන් ෆාන්‘ ලීගේ ජීවිතයේ අවසාන භාගයේදී වැඩි දියුණු කරන ලද මුහුන් සටන් කලා ක්‍රමවේදයකි. බෘෘස් ලී ගේ පළමු සටන් ක්‍රමය කරලියට එනුයේ ජුන් ෆාන් ගුන් ෆු යන නාමයෙනි. එහි ප්‍රධානම ගෝලයා ලෙස කටයුතු කළේ ටකි කිමුරා නම් සටන් ශිල්පියායි. මෙම ජුන් ෆාන් ගුන් ෆු හි පාදම වූයේ වින් චුන් නම් සටන් ක්‍රමයයි. එකල ප්‍රකට ගුරුවරයෙකු වූ යිප් මාන් ගෙන් උගත් මෙම ශෛලිය බෘෘස් ලී මඳක් වෙනස් කොට උගන් වන ලදී. එහෙත් මෙලෙස උගන්වන කල්හි චීන ජාතිකයන්ගෙන් ලී හට බොහෝ තර්ජන එල්ල වන්නට වූයේ චීන ජාතිකයන්ගෙන් තොරව වෙනත් අයට සටන් ක්‍රම උගන්වන බැවිනි.(ලංකාවේ ද මෙවන් කුළ හබ තිබුණු නිසා අප හට තිබූ බොහෝ හෙළ හටන් ක්‍රම අප අතින් වියැකී ගොස් ඇත. අද ලංකාවේ අංගම් පොර ලෙස බොහෝ විට උගන්වනු ලබන්නේ ඉන්දියානු කලරිපයාට්ටු සංකලනයක් බව මාගේ මතයයි). මෙවැනි අවස්ථාවකයි බෘෘස් හට මරණය දක්වා සටනකට ඇරයුම් ලැබෙන්නේ. මෙහිදී කොන්දේසි වූයේ සටනින් පැරදී දිවි ඇතොත් නැවතත් ඉගැන්වීම් නොකරන ලෙසටත් සටනින් ජය ගතහොත් ඔවුන් කිසිදිනක බෘෘස්  හට හිරිහැර නොකිරීමටත්ය. මෙහිදී බෘෘස් සටනින් විජයග්‍රහනයක් ලබන ලදී. එතැන් මතු ඔහු ඔහුට ම ආවේනික වූ කලාවක් බිහිකිරීමට පර්යේෂණ  පටන් ගත්තේය. පිලිපීන කාලි, අපරදිග බොක්සිං, ප්‍රංශ කඩු සටන් (ෆෙන්සින්), තායි බොක්සිං, ප්‍රංශ පා සටන් ක්‍රම (සවාත්), ජුඩෝ, අයිකිඩෝ, ජු-ජිත්සු, මල්ලවපොර ආදිය අධ්‍යයනය කොට දුරෙන් දුරට, තාක්ෂණවේදයෙන් තාක්ෂණවේදයට මාරුවිය හැකි,  වීදියකදී ඕනෑම සටන් කරුවෙකු සමග සටනකදී ජයගත හැකි ක්‍රමවේදයක් ගොඩනගන ලදී. මෙහි මූලාරම්භය ලෙස “ජිට් කුන් ඩෝ හි මග“ හෙවත් (Tao of Jeet Kune Do) නම් කෘතිය දැක් විය හැකිය. එතැන් පටන් බෘෘස් සහ ඔහුගේ සිසුන් තම තමාගේ දැනුම සහ අත්දැකීම් මත ජිට් කුන්ඩෝ නවමු මානයකට රැගෙන යන ලදී. උදාහරණ ලෙස ඉනොසන්තෝ තම කාලි දැනුම ද, ලැරී හාට්සෙල් තම රෙස්ලින් දැනුමද ආදී ලෙස අඩු වැඩි වශයෙන් මේ සටන් ක්‍රමය වැඩිදියුණු කිරීමට දායක වන ලදී.


ලංකාවට මුලින්ම ජිට් කුන් ඩෝ යන නාමය හඳුන්වා දෙනු ලබන්නේ බෘෘස් ලී ගේ ක්‍රියා දාම චිත්‍රපට හරහා වේ. මේ කාලයේ දී ලංකාව තුළ බොහෝ ජනප්‍රියව පැවතුනේ කරාතේ, රෙස්ලිං සහ බොක්සිං යන සටන් ශෛලීන් හා ජිම්නාස්ටික් වේ. බෘෘස් ලී ගේ ක්‍රියාදාම චිත්‍රපට සහ එහි සටන් ජවනිකා වලින් උමතු වූ තරුණ පරපුර එම සටන් කලාව ඉගෙනගැනීමට ගුරුවරුන් සෙවූ අතර මෙහිදී විශාල රික්තයක් බිහිවිය. මෙම බෘෘස් ලී චිත්‍රපට සමගම ලොව පුරා චීන සටන් ක්‍රියාදාම චිත්‍රපට සඳහා අධික ඉල්ලුමක් බිහිවිය. ඒ නිසා විවිධ මාතෘකා යටතේ සටන් චිත්‍රපට බිහිවිය. Snake in the eagle shadow, Iron monkey ආදී වූ සත්ත්ව සටන් ආර රැගත් චිත්‍රපටද බොහෝ ජනප්‍රිය විය. ඉහත සඳහන් කෙරෙන ලද රික්තය පිරවීමට එකල ව්‍යාපාර මනසින් යුත් සටන් කලා ගුරුවරු වෙහෙස ගත්තේ එයින් බොහෝ ධනස්කන්ධයක් සොයාගත හැකි යැයි පුරෝකථනය කළ බැවිනි. එනිසා චීනයෙන් උගත්තා යැයි පවසමින් චීන ජාතිකයන් සමග ඡායාරූප ගෙන ප්‍රසිද්ධ කරමින් කුන්ග් ෆූ සහ ජිට් කුන් ඩෝ යන නාමයෙන් චිත්‍රපට වල ඇත්තා සේ ඇඳුම් ද අඳිමින්, එම සටන් ජවනිකා අනුගමනය කරමින් පන්ති ආරම්භ කරන ලදී. මෙම ගුරුවරුන් හට වෙනත් සටන් කලා වල යම් ප්‍රගුණ තාවයක් තිබූ බැවින් තම ගෝලයන් හට ඉගැන්විය හැකියාව තිබීමත්, එකල ජිට් කුන් ඩෝ හි සහතික ලත් ගුරුවරු ලංකාව තුළ නොසිටීමත් නිසා මෙම ව්‍යාජ සටන් කලාව බොහෝ දුරට ව්‍යාප්ත විය. මෙයින්  ඇතැමෙක් ඇත්තම ජිට් කුන් ඩෝ සටන් කලාව කුමක් දැයි සොයා බැලීම සඳහා විදෙස් ගත වී පුහුණුව ලබා ගන්නා ලදී. මෙහි ප්‍රමුඛයෙකු ලෙස ප්‍රජා නානායක්කාර මහතා හැඳින්විය හැකිය. ඔහු ඩෑන් ඉනොසන්තෝ යටතේ යම් වැඩමුළු වලට සහභාගී වී දැනුම් රැස්කර ලංකාවට පැමිණ නියමාකාරයෙන් පන්ති පවත්වා ඇත. එහෙත් ඉහත ව්‍යාජ ගුරුවරු තම මාෆීයාව භාවිත කරමින් මොහුට මඩ ගැසීමටත්, විවිධාකාරයේ කට කතා පැතිරීමටත් උත්සුක විය. කාලයාගේ ඇවෑමෙන් යම් යම් සිද්ධී නිසා ප්‍රජා මහතා රටින් පිටවුන අතර ව්‍යාජ ගුරුවරු තම පන්ති ජයටම කරගෙන යන ලදී. (ප්‍රජා නානායක්කාර  නැවතත් පුහුණු කිරීම් අරඹා ඇත)

මෙයින් කලකට පසු  මාතලේ, ප්‍රසාද් වික්‍රමසිංහ මහතා ඉනොසන්තෝ පරම්පරාවෙන් රොන් බැලිකි ගෙන් ද, අසෝක ජයරත්න මහතා ටෙඩ් වොන්ග් පරම්පරාවේ මාක් ස්ටුවට් ගෙන් ද, ටිතිර හිරන්ජිත් පෙරේරා මහතා ඉනොසන්තෝ පරම්පරාවෙන් හරින්දර් සිංග් ගෙන්ද පුහුණු ව ලබාගෙන මනා පුහුණුවක් සහ තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ ගුරුවරු ලෙස මනා සේවයක් කරයි. මෙහිදී කිවයුතු වන්නේ මොවුන් හැර අනෙක් බොහෝ දෙනා බොහෝ ආයතන වල සාමාජිකයන් වීමත් ඔවුනට තත්ත්වයන් සඳහා සහතික ලබා දී ඇත්තේ අන්තර්ජාලය හරහා බවත් ය. එවන් සහතික වල වටිනාකම කොතන තැබිය යුතු දැයි පාඨක ඔබ මදක් සිතා බලන්න. ඇතැම් අය ලංකාවේ “එකම“ යැයි පවසමින් එහෙන් මෙහෙන් අහුලාගත් තාක්ෂණවේදයන් වරදවමින් උගන්වයි. මේවා දකින අය සිනාසෙන්නේ අධෝ මුඛයෙන් වන අතර එය ලාංකේය ජිට් කුන් ඩෝ කලාවට කරන මහත් වූ අගෞරවයකි.

කෙසේ වෙතත් ගුරු පරම්පරාවක් විග්‍රහ කරන්නේ මෙලෙසිනි. නියම ගුරු පරම්පරාවක මුල් ගුරුවරයා දක්වා ගුරු පරම්පරාව අඛණ්ඩව තිබිය යුතුය. උදාහරණයක් ලෙස ගතහොත් බෘෘස් ලී  - ටෙඩ් වොන්ග් - මාක් ස්ටුවට්.
නමුත් ලංකාවේ ගුරු පරපුර බොහෝ දෙනා සිතන්නේ ගුරුවරයාගේ රට හෝ අනුව පරම්පරාව බාල හෝ දුබල වන බවයි. එහි සත්‍යතාවයක් ඇත්තේ නැත. උදාහරණ ලෙස ගතහොත් මාක් ස්ටුවට් දැන් සිටින්නේ තායිලන්තයේය. ඇමෙරිකානු ජාතික හරින්දර් සිං ඉන්දියානු සික් පරපුරකින් පැවතගෙන එයි. මේ සියල්ල ගුරු පරම්පරාව බාල වීමට හේතු වේද? පරපුර බාල වීමට එකම හේතුව නම් තමා තමාගේ සටන් ශෛලිය කොපමණ හොඳින් හදාරන්නේද, එයට කොපමණ කැපවන්නේද, අනෙක් සටන් ශෛලීන් වෙත කෙතරම් ගෞරවක් ගෙන දෙන්නේද යන්න සහ තමා කෙතරම් එම ඉගැන්වීම් පිළිපදින්නේද යන්නත් මත වේ.

ජිට් කුන් ඩෝ යනු ක්‍රීඩාවක් නොවේ! මෙය ආත්මාරක්ෂක සටන් ක්‍රමයකි. මෙහි යමෙකු නොසිතනා දුරකට ඇති අති බිහිසුනු, භයංකර දේ අඩංගු වේ. ඒවා ගුරුවරු තම විෂය නිර්දේශය මත තම සිසුන්ට උගන්වනු ලැබේ. නමුත් අයෙකු ඒ ගැන ඇසූ විට ඒ පිළිබඳ මනා විග්‍රහයක් ලබාදීමටද හැකි විය යුතුය.

Thursday, December 30, 2010

Is wushu just a sport or an art of self defence ?

වූෂු ‍යනු ආත්මාරක්ෂක ස‍ටන් ක්‍රමයක්ද නැතිනම් ක්‍රී‍ඩාවක් පමණද ?

චීනයේ බිහි වූ ආත්මාරක්ෂක ස‍ටන් කලා හො ක්‍රම බොහෝ තිබුනත් වසර සිය ගණනක ඇවෑමෙන් ඒවා අභාවය‍ට ‍‍යමින් පවතියි . මෙම හේතුව මුල් කොටගෙන වත්මන් චීනය 1970 දශකයේදී එතෙක්  'කෝ ෂු '‍ හෙවත් ජාතික ක්‍රමය හෝ ජාතික ස‍ටන් ක්‍රමය ලෙස පැවති දෑ වුෂු ලෙස නම් කොට එහි ඇති ප්‍රබල හා අතිබිහිසුනු ප්‍රහාර , මරු නිල , අභ්‍යන්තර ශක්තිය ආදී වූ ගැඹුරු දෑ ලොප් කොට නර්තනය සදහා  අත් පා ‍චලන ර‍ටාවන් හා  ද්වන්ධ සටන් සදහා පෙර තිබූ චින් නා  ආදී  වූ ස‍ටන් ක්‍රම වල මූලික දෑ හා බොක්සිං ආදී නූතන ක්‍රී‍ඩා එක් කො‍ට මිශ්‍ර ස‍ටන් ක්‍රී‍ඩාවක් හදුන්වා දෙන ලදී.

Thursday, April 15, 2010

පුහුණුව

ගැහෙයි හදවත
පුපුරු ගසයි වේදනාව
එහෙත් කළ හැකි දෙයක් නැත
පුහුණු කළ යුතුමය කටුක බව
මක් නිසාද  ,
අකීකරු කය
අකීකරු මනස
නතර කළ යුතුමය දුවන එක .

Wednesday, April 14, 2010

සත්‍යය

පුහුණු කළෙමි අත් පා
ඉදිරියට එන සතුරා
බිම දමන්න‍ට එක පහරින් ,
වැටුනි ඔහු උඩුකුරුව
දිනුයෙමි මම ,
නැත නැත පැරදුනෙමි මම ....................