Friday, April 15, 2011

Jeet Kune Do in Sri Lanka ( ලාංකේය ජිට් කු‍න් ‍ඩෝ )

ජිට් කුන් ඩෝ (Jeet Kune Do) හෙවත් අන්තඛණ්ඩනීය හස්ත/පාද ක්‍රමවේදය යනු නැසීගිය චින්තකයෙකු , දර්ශනවාදියෙකු මෙන්ම අතිදක්ෂ සටන් ශිල්පියෙකු, ගුරුවරයෙකු වූ බෘෘස් ‘ජුන් ෆාන්‘ ලීගේ ජීවිතයේ අවසාන භාගයේදී වැඩි දියුණු කරන ලද මුහුන් සටන් කලා ක්‍රමවේදයකි. බෘෘස් ලී ගේ පළමු සටන් ක්‍රමය කරලියට එනුයේ ජුන් ෆාන් ගුන් ෆු යන නාමයෙනි. එහි ප්‍රධානම ගෝලයා ලෙස කටයුතු කළේ ටකි කිමුරා නම් සටන් ශිල්පියායි. මෙම ජුන් ෆාන් ගුන් ෆු හි පාදම වූයේ වින් චුන් නම් සටන් ක්‍රමයයි. එකල ප්‍රකට ගුරුවරයෙකු වූ යිප් මාන් ගෙන් උගත් මෙම ශෛලිය බෘෘස් ලී මඳක් වෙනස් කොට උගන් වන ලදී. එහෙත් මෙලෙස උගන්වන කල්හි චීන ජාතිකයන්ගෙන් ලී හට බොහෝ තර්ජන එල්ල වන්නට වූයේ චීන ජාතිකයන්ගෙන් තොරව වෙනත් අයට සටන් ක්‍රම උගන්වන බැවිනි.(ලංකාවේ ද මෙවන් කුළ හබ තිබුණු නිසා අප හට තිබූ බොහෝ හෙළ හටන් ක්‍රම අප අතින් වියැකී ගොස් ඇත. අද ලංකාවේ අංගම් පොර ලෙස බොහෝ විට උගන්වනු ලබන්නේ ඉන්දියානු කලරිපයාට්ටු සංකලනයක් බව මාගේ මතයයි). මෙවැනි අවස්ථාවකයි බෘෘස් හට මරණය දක්වා සටනකට ඇරයුම් ලැබෙන්නේ. මෙහිදී කොන්දේසි වූයේ සටනින් පැරදී දිවි ඇතොත් නැවතත් ඉගැන්වීම් නොකරන ලෙසටත් සටනින් ජය ගතහොත් ඔවුන් කිසිදිනක බෘෘස්  හට හිරිහැර නොකිරීමටත්ය. මෙහිදී බෘෘස් සටනින් විජයග්‍රහනයක් ලබන ලදී. එතැන් මතු ඔහු ඔහුට ම ආවේනික වූ කලාවක් බිහිකිරීමට පර්යේෂණ  පටන් ගත්තේය. පිලිපීන කාලි, අපරදිග බොක්සිං, ප්‍රංශ කඩු සටන් (ෆෙන්සින්), තායි බොක්සිං, ප්‍රංශ පා සටන් ක්‍රම (සවාත්), ජුඩෝ, අයිකිඩෝ, ජු-ජිත්සු, මල්ලවපොර ආදිය අධ්‍යයනය කොට දුරෙන් දුරට, තාක්ෂණවේදයෙන් තාක්ෂණවේදයට මාරුවිය හැකි,  වීදියකදී ඕනෑම සටන් කරුවෙකු සමග සටනකදී ජයගත හැකි ක්‍රමවේදයක් ගොඩනගන ලදී. මෙහි මූලාරම්භය ලෙස “ජිට් කුන් ඩෝ හි මග“ හෙවත් (Tao of Jeet Kune Do) නම් කෘතිය දැක් විය හැකිය. එතැන් පටන් බෘෘස් සහ ඔහුගේ සිසුන් තම තමාගේ දැනුම සහ අත්දැකීම් මත ජිට් කුන්ඩෝ නවමු මානයකට රැගෙන යන ලදී. උදාහරණ ලෙස ඉනොසන්තෝ තම කාලි දැනුම ද, ලැරී හාට්සෙල් තම රෙස්ලින් දැනුමද ආදී ලෙස අඩු වැඩි වශයෙන් මේ සටන් ක්‍රමය වැඩිදියුණු කිරීමට දායක වන ලදී.


ලංකාවට මුලින්ම ජිට් කුන් ඩෝ යන නාමය හඳුන්වා දෙනු ලබන්නේ බෘෘස් ලී ගේ ක්‍රියා දාම චිත්‍රපට හරහා වේ. මේ කාලයේ දී ලංකාව තුළ බොහෝ ජනප්‍රියව පැවතුනේ කරාතේ, රෙස්ලිං සහ බොක්සිං යන සටන් ශෛලීන් හා ජිම්නාස්ටික් වේ. බෘෘස් ලී ගේ ක්‍රියාදාම චිත්‍රපට සහ එහි සටන් ජවනිකා වලින් උමතු වූ තරුණ පරපුර එම සටන් කලාව ඉගෙනගැනීමට ගුරුවරුන් සෙවූ අතර මෙහිදී විශාල රික්තයක් බිහිවිය. මෙම බෘෘස් ලී චිත්‍රපට සමගම ලොව පුරා චීන සටන් ක්‍රියාදාම චිත්‍රපට සඳහා අධික ඉල්ලුමක් බිහිවිය. ඒ නිසා විවිධ මාතෘකා යටතේ සටන් චිත්‍රපට බිහිවිය. Snake in the eagle shadow, Iron monkey ආදී වූ සත්ත්ව සටන් ආර රැගත් චිත්‍රපටද බොහෝ ජනප්‍රිය විය. ඉහත සඳහන් කෙරෙන ලද රික්තය පිරවීමට එකල ව්‍යාපාර මනසින් යුත් සටන් කලා ගුරුවරු වෙහෙස ගත්තේ එයින් බොහෝ ධනස්කන්ධයක් සොයාගත හැකි යැයි පුරෝකථනය කළ බැවිනි. එනිසා චීනයෙන් උගත්තා යැයි පවසමින් චීන ජාතිකයන් සමග ඡායාරූප ගෙන ප්‍රසිද්ධ කරමින් කුන්ග් ෆූ සහ ජිට් කුන් ඩෝ යන නාමයෙන් චිත්‍රපට වල ඇත්තා සේ ඇඳුම් ද අඳිමින්, එම සටන් ජවනිකා අනුගමනය කරමින් පන්ති ආරම්භ කරන ලදී. මෙම ගුරුවරුන් හට වෙනත් සටන් කලා වල යම් ප්‍රගුණ තාවයක් තිබූ බැවින් තම ගෝලයන් හට ඉගැන්විය හැකියාව තිබීමත්, එකල ජිට් කුන් ඩෝ හි සහතික ලත් ගුරුවරු ලංකාව තුළ නොසිටීමත් නිසා මෙම ව්‍යාජ සටන් කලාව බොහෝ දුරට ව්‍යාප්ත විය. මෙයින්  ඇතැමෙක් ඇත්තම ජිට් කුන් ඩෝ සටන් කලාව කුමක් දැයි සොයා බැලීම සඳහා විදෙස් ගත වී පුහුණුව ලබා ගන්නා ලදී. මෙහි ප්‍රමුඛයෙකු ලෙස ප්‍රජා නානායක්කාර මහතා හැඳින්විය හැකිය. ඔහු ඩෑන් ඉනොසන්තෝ යටතේ යම් වැඩමුළු වලට සහභාගී වී දැනුම් රැස්කර ලංකාවට පැමිණ නියමාකාරයෙන් පන්ති පවත්වා ඇත. එහෙත් ඉහත ව්‍යාජ ගුරුවරු තම මාෆීයාව භාවිත කරමින් මොහුට මඩ ගැසීමටත්, විවිධාකාරයේ කට කතා පැතිරීමටත් උත්සුක විය. කාලයාගේ ඇවෑමෙන් යම් යම් සිද්ධී නිසා ප්‍රජා මහතා රටින් පිටවුන අතර ව්‍යාජ ගුරුවරු තම පන්ති ජයටම කරගෙන යන ලදී. (ප්‍රජා නානායක්කාර  නැවතත් පුහුණු කිරීම් අරඹා ඇත)

මෙයින් කලකට පසු  මාතලේ, ප්‍රසාද් වික්‍රමසිංහ මහතා ඉනොසන්තෝ පරම්පරාවෙන් රොන් බැලිකි ගෙන් ද, අසෝක ජයරත්න මහතා ටෙඩ් වොන්ග් පරම්පරාවේ මාක් ස්ටුවට් ගෙන් ද, ටිතිර හිරන්ජිත් පෙරේරා මහතා ඉනොසන්තෝ පරම්පරාවෙන් හරින්දර් සිංග් ගෙන්ද පුහුණු ව ලබාගෙන මනා පුහුණුවක් සහ තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ ගුරුවරු ලෙස මනා සේවයක් කරයි. මෙහිදී කිවයුතු වන්නේ මොවුන් හැර අනෙක් බොහෝ දෙනා බොහෝ ආයතන වල සාමාජිකයන් වීමත් ඔවුනට තත්ත්වයන් සඳහා සහතික ලබා දී ඇත්තේ අන්තර්ජාලය හරහා බවත් ය. එවන් සහතික වල වටිනාකම කොතන තැබිය යුතු දැයි පාඨක ඔබ මදක් සිතා බලන්න. ඇතැම් අය ලංකාවේ “එකම“ යැයි පවසමින් එහෙන් මෙහෙන් අහුලාගත් තාක්ෂණවේදයන් වරදවමින් උගන්වයි. මේවා දකින අය සිනාසෙන්නේ අධෝ මුඛයෙන් වන අතර එය ලාංකේය ජිට් කුන් ඩෝ කලාවට කරන මහත් වූ අගෞරවයකි.

කෙසේ වෙතත් ගුරු පරම්පරාවක් විග්‍රහ කරන්නේ මෙලෙසිනි. නියම ගුරු පරම්පරාවක මුල් ගුරුවරයා දක්වා ගුරු පරම්පරාව අඛණ්ඩව තිබිය යුතුය. උදාහරණයක් ලෙස ගතහොත් බෘෘස් ලී  - ටෙඩ් වොන්ග් - මාක් ස්ටුවට්.
නමුත් ලංකාවේ ගුරු පරපුර බොහෝ දෙනා සිතන්නේ ගුරුවරයාගේ රට හෝ අනුව පරම්පරාව බාල හෝ දුබල වන බවයි. එහි සත්‍යතාවයක් ඇත්තේ නැත. උදාහරණ ලෙස ගතහොත් මාක් ස්ටුවට් දැන් සිටින්නේ තායිලන්තයේය. ඇමෙරිකානු ජාතික හරින්දර් සිං ඉන්දියානු සික් පරපුරකින් පැවතගෙන එයි. මේ සියල්ල ගුරු පරම්පරාව බාල වීමට හේතු වේද? පරපුර බාල වීමට එකම හේතුව නම් තමා තමාගේ සටන් ශෛලිය කොපමණ හොඳින් හදාරන්නේද, එයට කොපමණ කැපවන්නේද, අනෙක් සටන් ශෛලීන් වෙත කෙතරම් ගෞරවක් ගෙන දෙන්නේද යන්න සහ තමා කෙතරම් එම ඉගැන්වීම් පිළිපදින්නේද යන්නත් මත වේ.

ජිට් කුන් ඩෝ යනු ක්‍රීඩාවක් නොවේ! මෙය ආත්මාරක්ෂක සටන් ක්‍රමයකි. මෙහි යමෙකු නොසිතනා දුරකට ඇති අති බිහිසුනු, භයංකර දේ අඩංගු වේ. ඒවා ගුරුවරු තම විෂය නිර්දේශය මත තම සිසුන්ට උගන්වනු ලැබේ. නමුත් අයෙකු ඒ ගැන ඇසූ විට ඒ පිළිබඳ මනා විග්‍රහයක් ලබාදීමටද හැකි විය යුතුය.